අප ලැබූ මිනිස් ආත්මභාවයේ දිනක් පාසා අපිට අහිමි වී යන එක දෙයක් තියෙනවා. ඒ තමයි අපේ ජීවිතේ ආයුෂ.


2024 වර්ෂය ගෙවිලා ගිහින් තව අලුත් වර්ෂයක්(2025) උදාවෙද්දී, අපි විවිධාකාර බලාපොරොත්තු, අරමුණු ගොඩක් අලුත් වර්ෂයේදී ඉටුකර ගැනීමට සිතනවා. ඒත් මෙම හැම බලාපොරොත්තුවක්ම ඉටුකර ගන්න නම්, අපිට දවසක් පාසා ඒ සදහා කැපවීමට සිදුවෙනවා.


ඉතාම කලාතුරකින් ලැබුණු මනුෂ්‍ය ජීවිතයක, ඊටත් වඩා කලාතුරකින් ලැබෙන බුද්ධ ශාසනයක ඇසුර ලබමින් ජීවිතය සාර්ථක කර ගැනීමට කටයුතු කරන අපට, අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කල දුතිය සම්පදා සූත්‍රයේ අඩංගු කරුණු බොහෝ උපකාර වෙනවා.


අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කල සේක.මහණෙනි, මේ සම්පත් අටකි. ඒ කවර අටක් ද යත්;


 නැගී සිටීමේ වීරිය නම් වූ උට්ඨාන සම්පදාව ය. 


මහණෙනි, මෙහිලා කුලපුත්‍රයෙක් යම් කර්මාන්තයකින් ජීවිතය ගෙවයි නම්,එහිලා ඔහු දක්ෂ වෙයි. කම්මැලි නොවෙයි. ක්‍රමානුකූල ව කිරීමට, පිළිවෙලකට කිරීමට, උපාය වීමංසන කුසලතාවයෙන් යුක්ත වෙයි. 


 රැක ගැනීම නම් වූ ආරක්ඛ සම්පදාව ය. 


මහණෙනි, මෙහිලා කුලපුත්‍රයා ධාර්මික වූ, ධාර්මික ව ලැබුණු යම් දේපල වස්තුවක් ඇද්ද, ඒවාට නිසි ආරක්ෂාව ත්, රැකවරණය ත් යොදයි.(සොරු පැහැර නොගනිත් නම්)


 කළණ මිතුරන් ඇති බව නම් වූ කල්‍යාණමිත්තතා ය. 


ශ්‍රද්ධාවෙන් යුක්ත වෙත් ද, සීලයෙන් යුක්ත වෙත් ද, ත්‍යාගයෙන් යුක්ත වෙත් ද, ප්‍රඥාවෙන් යුක්ත වෙත් ද ඔවුන් සමඟ සිටියි. කතා බස් කරයි. සාකච්ඡාවන්ට පැමිණෙයි. 


 අය වැය හඳුනා දිවි ගෙවීම නම් වූ සමජීවිකතා ය. 


මහණෙනි, මෙහිලා කුලපුත්‍රයා භෝග සම්පත්වල ආදායම ද දැන, භෝග සම්පත්වල වියදම ද දැන ඉතා මහත් නොවූ ත්, ඉතා පහත් නොවූ ත් සම වූ ජීවිතයක් ගෙවයි. 


 ශ්‍රද්ධා සම්පදාව ය. 


මෙහිලා කුලපුත්‍රයා ශ්‍රද්ධාවන්ත වූයේ වෙයි. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගත්තේ වෙයි. එනම්, ‘මේ මේ කරුණෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. මහණෙනි, මෙය ශ්‍රද්ධා සම්පත්තිය යැයි කියනු ලැබේ.


 සීල සම්පදාව ය. 


මහණෙනි, මෙහිලා කුලපුත්‍රයා සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. සොරකමින් වැළකුණේ වෙයි. වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි. බොරු කීමෙන් වැළකුණේ වෙයි. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වෙයි. මහණෙනි, මෙය සීල සම්පත්තිය යැයි කියනු ලැබේ


 චාග සම්පදාව ය. 


මෙහිලා කුලපුත්‍රයා මසුරුමල බැහැර කළ සිතින් යුතුව ගිහිගෙදර වාසය කරයි.


 ප්‍රඥා සම්පදාව ය 


මෙහිලා කුලපුත්‍රයා ප්‍රඥාවන්ත වෙයි. හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි.


කර්මාන්ත කටයුතු වලදී නැගී සිටින වීරියෙන් යුතුව, අප්‍රමාදී ව සංවිධානය කරයි. සම සේ ජීවිතය පරිහරණය කරයි. සපයන ලද දේ රකියි. 


ශ්‍රද්ධාවෙන් යුතු වූයේ, සීලයෙන් යුතු වූයේ, අනුන් ඉල්ලන දේ දන්දේ, පහවූ මසුරුමල ඇත්තේ, පරලොව සැප පිණිස ඇති මාර්ගය නිතර පිරිසිදු කරයි. 


ගිහි ගෙදර වාසය කරන සැදැහැවත් කෙනා හට මෙලොව – පරලොව දෙකෙහි ම මේ අෂ්ට ධර්මයන් සැප ලබා දෙන බව සත්‍යනාම වූ බුදුරජුන් විසින් වදාරණ ලද්දේ ය. 


(දුතිය සම්පදා සූත්‍රය ඇසුරෙනි.)


 නමෝ බුද්ධාය 🙏

 තෙරුවන් සරණයි 🙏🪷

;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;



තරගයක් කරන්නට ගිහිල්ලා කවුරු හරි ජය ගන්න කොට, තව කෙනෙක් මේ ලෝකයේ පරදිනවාමයි.


ඒ වගේමයි.....


තරගයකින් කවුරු හරි පරදින කොට ඒ තරගයෙන් තව කවුරු හරි ජයග්‍රහණය කරනවාමයි.


හැබැයි......


ජය, පැරදුම දෙකම අත්හැරපු මුනිවරු තමයි, රහතන් වහන්සේලා තමයි මේ ලෝකයේ සුවසේම සිටියේ. 


ඒ වගේ අපිටත් පුළුවන් නම්, අපේ අභ්‍යන්තරයේ තියෙන අපිව  පීඩාවට පත්කරන කෙලෙස් පරාජය කරන්නට. අපි කවුද කියලා අදුනගෙන, අපේ ජීවිතය, අපිටම ජය ගන්න පුළුවන් නම් ධර්මය තුල පිහිටලා, ඒක තමයි මේ ලෝකයේ සුන්දරතම ජයග්‍රහණය.


එතකොට කවුරු පැරදුනත්, කවුරු දිනුවත් අපිට වැඩක් නෑ.අපිට ප්‍රශ්නයකුත් නෑ


ඒ හින්දා ජය,පැරදුම අත්හැරලා තමන් ජය ගන්නට මහන්සි ගන්න. 


 නමෝ බුද්ධාය 

තෙරුවන් සරණයි

;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;


2025 / 01 / 05

අද දවසේ පින් සිතුවිල්ල


දැන්ම ඔබේ ජීවිතයට මේ කාරණා දෙක එකතු කරගන්න...


ඔබ ඔබට ආදරේ කරන්න...


බෑ කියන අදහස අත්හරින්න...


ඔබ ඔබට ආදරේ නොකිරීම ඔබේ ජීවිතය අසාර්ථක වෙන්න හේතුවක්... 


මට බෑ කියන අදහස ජීවිතය අසාර්ථක වෙන්න හේතුවක්...


ඒ නිසා දැන්ම ඔබ ඔබට ආදරේ කරන්න...


බෑ කියන අදහස අතහරින්න...


ඔබේ ජීවිතේ මුළුමනින්ම සාර්ථක වෙයි..!


තෙරුවණ් සරණයි 🙏🏻